Thursday 19 June 2014

සමාවෙයන් ෆසීල්...


හොස්ටල් එකේදි
අපි ඇරගත්ත තමයි....
උඹලගෙ දෙයියො ගැන,
අල්කයිඩා, නයින් ඉලෙවන් ගැන,
අපි උඹත් එක්ක ඇරගත්ත තමයි...
උඹේ තොප්පිය හැංගුවම,
සරම කඩන්න හදනකොට,
උඹ අපිත් එක්ක ඇරගත්ත තමයි...
ඒත් කවදාවත්
උඹේ තොප්පියවත්,
මගේ පිරිත් නූලවත්,
අපිට ප්‍රශ්නයක් වුනේ නෑ.....
ඒත් දැන්
පිරිත් නූල් අහිංසක නෑ...
ලැජ්ජාව වහගන්න,
මං ඒක කපල දැම්ම මචං....
උඹට බය නැතුව,
තොප්පිය දාගෙන එන්න පුලුවන් දවසක,
මං එන්නං උඹත් එක්ක.....
රහුමානියා එකෙන්,
වඩයක් කාලා, ප්ලේන්ටියක් බොන්න.....
ඉස්සර වගේ කතා කරමු අපි,
නිලාර්ගෙ සිංහල සින්දු ගැන....

24 comments:

  1. අපූරුයි කළුවො...
    ඇත්තටම කායවන කෙනෙක්ට දෙපාරක් හිතල බලන්න තරම් කාරණා මේපද පේලි ටික ඇතුලෙ තියෙනව
    ජයවේවා

    ReplyDelete
  2. සුපිරියි කලු.හිතේ තියෙන ඔක්කොම මේ කවිය ඇතුලෙ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලපෙ

      Delete
  3. මචන් කලූ.....
    අපේ තොප්පියත්
    උඹ හිතන තරම් අහිංසක නැහැ...
    හැබැයි උඹ උඹේ පිරිත් නූල කපා ගත්තට
    අපි අපේ තොප්පිය විසි කරන්නේ නැහැ .....
    අපේ තොප්පිය තියාගෙන
    අපි තවත් තොප්පි මහනවා....
    කවදහරි
    උඹලගේ ඔලුවටත් දාන්න බලාගෙන
    එත්.....
    එදාට උඹ බැහැ කිව්වොත්
    උඹව කපන්න වෙන්නෙ ....
    උඹ ඔය පිරිත් නූල කපල දැම්ම
    කතුරෙන් නම් නෙවෙයි....
    සොරි මචං....

    ෆසීල්

    ReplyDelete
    Replies
    1. කලූ ගෙ කවියත් හරි... ඒකට උත්තර දුන් ඇනෝ ගේ කවියත් හරි...... වෙන්ඩ තියෙන දේවල් වලක්වන්න සක්කරයට තියා වයිමට වත් බැහැ....

      Delete
    2. මචං ඇන‍ෝ,
      දන්න කෙනෙක්ගෙන් අහල තේරුම දැනගනිං (නානසාරලා නම් දන්නෙ නැතුව ඇති).

      පරෙ චන විජානන්ති
      මයමෙත්ථ යමාමසෙ
      යෙච තත්ථ විජානන්ති
      තතො සම්මන්ති මෙධගා

      Delete
    3. Sa rasa,
      අධිෂ්ඨානයත් කැපවීමත් තියෙනවා නම් ඕනම දෙයක් වෙනස් කරන්න පුලුවන්, දැන් වෙලා තියෙන්නෙ ප්‍රශ්න අවුලන එක මිසක් විසඳන්න උත්සාහ නොකරන එකයි.

      Delete
  4. මචං කලූ,
    ධම්ම පදය යමක වග්ග 6 වන ගාථා පාඨය සිහිපත් කිරීම ගැන නොවක් තුති.
    තේරුම:
    ඇතැම් කෙනෙක් අපි මෙහි දී මැරෙමු යි හෝ විනාශයට පත්වෙමුයි නොදනිත්, යම් කෙනෙක් ඒ කාරණය දනිත් නම් ඒ කරණකොට කලහයෝ සංසින්දෙත්.

    මේ කියන්නේ ෆසීල්ලගේ නොදැනුවත් කමට කල ප්‍රකෝප කිරීම් ඉවසගෙන සිටීමට අපට හැකිවිය යුතුය කියලද? එහෙම දියුණු කොටසක් හිටියා දඹදිව නාලන්දා විශ්වවිද්‍යාලෙ. (තව ගොඩක් උදාහරණ තියෙනවා )ඒ රහතන් වහන්සේලා කඩුගානකොටත් ඉවසගෙන හිටියා කියලයි සඳහන් වෙන්නෙ.ඒත් එහෙම කරන්න තරම් අපි දියුණු නැහැ තමයි. ඒ තරමට දියුණු වෙනකම් ඉවසන් හිටියොත් වෙන්නෙ සත්‍යාවබෝධයට පෙරම පරලොවයන්න. ඔබ උපුටා දක්වන ධම්ම පදයත් එතකොට තහනම්.... ෂුවර් එකට ඔයාටත් ෂොට් එක හම්බු වෙනවා.... ආසයි නේ.

    පුලුවන්නම් ධම්ම පදයේ දණ්ඩ වග්ගයේ 137, 138, 139 සහ 140 ගාථා පාඨ කියවලා තේරුම් ගන්න උත්සහ කරපං. බැරි උනොත් කියපන් මං දාන්නම්.

    ReplyDelete
    Replies
    1. කෝ මේ කලූ...... කලූ ....කලූ

      Delete
    2. මචං උඹ කියන විදියට අපි දියුණු නැත්නම් කල යුත්තේ අහිංදකයන්ට ගල් ගැසීම නෙවෙයි. අපිවම දියුණු කර ගැනීමයි.
      උඹේ අදහසින් කියවෙන තවත් දෙයක් තමයි ඒ කාලේ බුද්ධාගම අදට ගැලපෙන්නෙ නෑ කියන එක. මං ඉගෙනගත්තු විදියට නම් බුද්ධ ධර්මය සර්වකාලීනයි.

      ධර්මය අපිට ඕන විදියට අර්ථ දක්වා ගැනීම, ධර්මයේ හැසිරීම නෙමෙයි. ටිබෙට් බුද්ධාගමේ එන කාලචක්‍ර තන්ත්‍රය අපිට ඕන විදියට අර්ථ දක්වල, මුස්ලිමුන් එක්ක පූජනීය යුද්ධයකට වුනත් යන්න පුලුවන්. මං දන්න බුද්ධ ධර්මය නම් අවිහිංසාවාදය මුල් කර ගත් එකක්. කාට හරි ගහන්න හිතන කොටම ඒ ධර්මය අපේ ඔලුවෙන් ගිහිල්ල. ඊට පස්සෙ ආරක්ෂා කරන්න ධර්මයක් එතන නෑ.

      මගේ හෑල්ල මේ ප්‍රශ්න වලින් බැට කන අහිංසක ෆසීල්ලා ගැනයි. මෙතැන දෙපැත්තක් නැති බවවත්, සිංහලයා විතරක් වැරදියි කියලවත් නෑ. උඹම කියනවා මෙතැන ප්‍රශ්නය ඇතිකරලා තියෙන්නෙ පවතින ක්‍රමය විසින් කියල. උඹ ඒක තේරුම් අරන් ඉන්න එක ලොකු දෙයක්. අපි කරන්න ඕන ක්‍රමය වෙනස් කරන එක මිසක් අහිංසක මිනිස්සු තවතවත් ප්‍රශ්න වලට ඇදල දාන එක නෙවෙයි.

      අනිත් එක උඹල අනුමාන කරන විදියට ලංකාව ඇතුලෙ බෞද්ධයන්ට මුස්ලිම් අයගෙන් ප්‍රශ්නයක් තියෙනවනම් ඒක විසඳගන්න නීතිමය ක්‍රියාමාර්ග ගන්න, අහිංසක මුස්ලිම් මිනිස්සුන්ට ගහන්නෙ නැතුව. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් එතැන තියෙන්නෙ වෙන ප්‍රශ්නයක්. ඒකට වෙනම විසඳුම් හොයන්න ඕන.

      Delete
    3. දැන් මේක සිද්දියක් විදියට ගත්තොත් පටන් ගැන්ම උනේ අර හාමුදුරු කෙනෙකුට මුස්ලිම් සහෝදරවරු දෙන්නෙක් ගහපු එක නේද? එතැනදි ඒ පාර්ශවය පොලිසියට පැමිණිලි කරලා එකට අදාල පියවර නොගැනීම නිසා නේද මේක මේ තරම් දුරදිග ගියේ. නැතුව සිංහලයෝ පාරේ ගිය අහිංසක මුස්ලිම් අයට පහරදීල මේක පටන් ගත්තනම් ඔබ කියනදේ හරි වෙන්න තිබුණා.
      ඒ වගේම අසරණ ෆසීල්ලා වෙනුවෙන් පමණක් ඔබට කිරිඑරෙන්නේ ඇයි?අසරණ කලුලත් මේකෙන් බැට කෑවා කියන එක ඔබට අමතක වීම පුදුමයක්.

      ධර්මය ගැන ඔබේ කතාව බෞද්ධයා නිවට කරන්නට දරණ නිර්ලජ්ජිත ප්‍රකාශයක් විතරයි .
      මෙතන ප්‍රශ්නය තියෙන්නේ ධර්මයේ නොවේ. ධර්ම මාර්ගයේ යන්න උත්සහ කරන අප තුළයි.එනිසා බුද්ධ ධර්මයේ සර්වකාලීන බව මෙතනට අදාල නොවේ.හැබැයි බුද්ධ ධර්මයේ කොතනකවත් "විශ්වාස නොකරන්නා කඩු ගානු"යැයි කියල නම් නැහැ තමා.මේ තරම් නිදහසේ ඔය හැමෝටම සෙල්ලම් දාන්න හැකියාව ලැබිල තියෙන්නේ බෞද්ධයාගේ සහනශීලිත්වය නිසා තමයි.

      අනික ඔයා කියන විදියට ධර්මය රකින්න ගියපු නාගයෙකුටවුන ( දර මිටිය බඳින්න නයා පාවිච්චි කළේ )හොඳ සිද්දියක් ජාතක පොත් වහන්සේගේ තියෙනවා. ඔබ බෞද්ධයෙක් නම් ටිබෙට් බුද්ධාගම කියවන්න කලින් ඒකවත් කියවන්න.

      ඔබ ටිබෙට් බුදුදහම අදහන්න තැත් කලාට අපි උත්සහ කරන්නේ ථෙරවාදි බුදුදහම අවබෝධය පිණිසයි. ටිබෙට් බුද්ධාගමේ එන කාලචක්‍ර තන්ත්‍රය මෙතනට ගන්න හදන්නේ දන්නා බව පෙන්නන්නද?

      Delete
    4. පොඩි කාලෙ අය්යල මල්ලිල රණ්ඩු වුනාම අම්මට ගතු කියන්නෙ ඉස්සෙල්ල ගැහුවෙ අරූ, ඒ නිසයි මම ගැහුවෙ කියල. මේක ඒ වගේ බාල වැඩක්. මේක තනි සිද්ධියක් විදියට පෙන්නන්න දැන් ගොඩක් අය උත්සාහ කරාට, මේක අවුරුදු පහක් තිස්සෙ වර්ධනය වෙච්ච දේශපාලන ව්‍යාපාරයක්. උඹට ඒක තේරෙන්නෙ නැති එක ගැන කණගාටුයි.

      මෙතනදි පොලිසිය අදාල පියවර ගත්තෙ නැති නිසා අහිංසක මිනිසුන්ට ගහන එක, ගෙවල් ගිනි තියන එක හරි නම්, නීතිය ක්‍රියාත්මක නොවෙන අනිත් අවස්තාවලදිත් ඒ දේම කරන්න. අන්න සාරුව සුනිල් සිංහල ළමයි දූෂණය කරල අගේට ඉන්නව. නීතිය ක්‍රියාත්මක වෙලා නෑ. පුලුවන්නම් ගිහින් සුනිල්ගෙ ගේ ගිනිතියන්න. ලොකු බේබි දළදාව තියෙන පූජානගරෙ කාර් රේස් තියල, අරක්කු විකුණනවා, ගණිකාවෝ නැටුම් පවත්වනවා, නීතිය ක්‍රියාත්මක වෙලා නෑ. ගිහින් පුලුවන් දෙයක් කරන්න. ඇමතිල රක්ෂිත වනාන්තර වල හෝටල් හදනව. නීතිය ක්‍රියාත්මක වෙලා නෑ. ගිහින් ඒ හෝටල් ගිනි තියන්න. ජයසුන්දර මුදල් අමාත්‍යංශයට පත් කිරීම නීති විරෝධියි. පත් කලේ ජනාධිපති මහින්ද, නීතිය ක්‍රියාත්මක වෙලා නෑ. ගිහින් පුලුවන් දෙයක් කරන්න. ලංකාවෙ නීතිය ක්‍රියාත්මක නොවෙන අවස්තාවල් ලියල ඉවර කරන්න බෑ. ඇයි ඒවා ගැන ඔය වගේ කියාමාර්ග ගන්නෙ නැත්තෙ. ඒවයින් තැලෙන අයගෙන් සීයට 70ක් සිංහල බෞද්ධයො.

      උඹ නැවත නැවතත් ඔප්පු කරන්නෙ උඹ පිලිගන්නෙ උඹලට ඕන විදියට අර්ථ දක්වගත්තු ධර්මයක් ගැන. ඒකට වෙන නමක් දාගනින්. මොකද උඹ කතා කරන්නෙ බුද්ධ ධර්මය ගැන නෙවෙයි. අපි ඒ ගැන වාද කරල තේරුමක් නෑ.

      කොහොම වුනත් උඹ ථෙරවාද බුදුදහම හරි අවබෝධ කරගන්න උත්සාහ කරන එක ගැන සතුටුයි. එක එකාගෙ දේශපාලන ව්‍යාපාර වලට අහුනොවී ධර්මය ඉගෙන ගන්න උත්සාහ කරපං.

      මචං මගෙ හෑලි කියවන්න එන්නෙ බොහොම ටික දෙනයි. අනික උන් මාව දන්නෙත් නෑ, මං උන්ව දන්නෙත් නෑ. ඉතින් දන්න බව පෙන්නල මට ලැබෙන කජ්ජක් නෑ.

      Delete
    5. මචං මෙතන මුලික තර්ක 2ක් තියෙනවා. මේ දෙක දෙකක්.උඹේ එක තර්කයකට පිළිතුරු දෙනකොට උඹ අනිත් තර්කයෙන් ගහලා දානවා ඒ නිසා මං මේක දෙකට බෙදල පෙන්වන්නම්.

      දේශපාලනය ගැන ආකල්පය - මේ ගැන උඹේ අදහස් සමග මට ගැටුමක් නැහැ (උඩ ඉඳන් ඇනෝ කොමෙන්ට්ස් ටික කියවලා බලපන් )

      සිංහලයා / බෞද්ධයා ගැන ආකල්පය - මේ ගැන උඹේ අදහස් සමගයි මට ගැටුමක් තියෙන්නේ. සිංහලයා / බෞද්ධයාකියන්නෙත් ෆසීල් වගේම අසරණ වෙච්ච කොටසක් කියන එකයි මම කියන්නේ. ගැටුමක් ඇති උනාට පස්සේ කීයක් මැරුණද වැඩිපුර මැරුන පැත්තේ අයට අසාධාරනයයක් උනා කියල උඹල ගොඩනගන තර්කයයි වැරදි මචං. උඹ මේ රටේ නවත්වන්න කියල කියන කිසිමදෙයක් සමස්තයක් විදියට සිංහලයා / බෞද්ධයා කරපු දේවල් නොවෙයි නේද? එහෙනම් මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක නොවීමට වැරදි කාරය සිංහලයා / බෞද්ධයාවෙන්නේ කොහොමද කියල උඹෙන් මන් දැන ගන්න කැමැතියි.
      ධර්මය කියනදේ අධ්‍යනය කිරීම, භාවිතාවේ යෙදීම වගේම ආරක්ෂා කොට පවත්වාගැනීමත් වැදගත්. උඹේ මී මුත්තත් මගේ මී මුත්තත් උඹ ඔය කියන විදියට එදා වැඩ කලානම් අද අපි දෙන්නට මේ විදියට කතා කරන්න බුදු දහමක් නෑ මචං..... එක තමයි කටුක ඇත්ත.

      Delete
    6. උඹ නියම තැනකට ඇවිත් තියෙනවා දැන්. ඔව් මෙතන තර්ක 2ක් තියෙනවා. රටේ පවතින දේශපාලනය ගැන උඹ එකඟ වීම ලොකු දෙයක්. උඹ කියන දෙවන තර්කය සිංහලයා / බෞද්ධයා ගැන ආකල්පය කියන්නෙත් පවතින දේශපාලනයේම දිගුවක්. එහෙම නැතිව වෙනම තර්කයක් නෙවෙයි.

      උඹ දැන් ඉරක් ගහල සිංහලයා බෞද්ධයා කියල වෙන් කරාට මේක ලංකාවෙදි එකක්. (ඒකයි අපි දෙමළ බෞද්ධයො ගැනවත් සිංහල ඉස්ලාම් ජන කොටසක් ගැනවත් කතා කරන්නෙ නැත්තෙ). මේ සිංහල බෞද්ධ දේශපාලනය අඩුවැඩි වශයෙන් මෑත ඉතිහාසය පුරාවටම තිබුණා. ඒත් පහුගිය අවුරුදු 5-10 ඇතුලත ඒක ප්‍රධාන ධාරාවේ දේශපාලනය බවට පත්වෙලා. මෙතැන තනිතනිව උඹවත් මමවත් නෙමෙයි සැලකෙන්නෙ. සමස්තය විදියට සිංහල බෞද්ධ කියන සංකල්පය දේශපාලනයට ඇතුල් වෙන විදිය. මේ සංකල්පය තමයි දෙමළ ජනතාව දේශපාලනිකව පරාජය කරන්නත් දකුණේ සිංහල ජනතාව නොමඟ යවා පාලනය කිරීමටත් අද යොදා ගනිමින් තියෙන්නෙ. බොදු බල සේනා වගේ කණ්ඩායම් කරන්නෙ පවතින රජයේ ඒ දේශපාලන වුවමනාව. ඒ නිසයි මම කියන්නෙ උඹ මතු කරන තර්ක දෙකම එකක් කියල.

      මගේ අනිත් තර්කය තමයි මේ අවශ්‍යතාවන් වෙනුවෙන් බුද්ධ ධර්මය වෙනස් විදියට අර්ථ දැක්වීම එහෙම නැත්නම් විකෘති කිරීම. අවිහිංසාවාදී ධර්මයක් පාව්ච්චි කරල වෙනත් ජන කණ්ඩායම් සමඟ අරගලයකට යන්න බෑ එහෙම නැතුව. ධර්මය අපිට ඕන විදියට අර්ථ දක්වා ගැනීමෙන් ධර්මය ආරක්ෂා කරන්න බෑ. ඒකෙන් වෙන්නෙ මෙතෙක් ගෞරවයට පත්වෙලා තිබූණ ධර්මය හෑල්ලුවට ලක්වෙන එක. උඹට ඒක හොඳට බලා ගන්න පුලුවන් ලංකාවෙන් පිටත මාධය වල මේ සිද්ධි වාර්තා වෙන විදිය බැලුවම (දැන් කියන්න එපා ජාත්‍යන්තර මාධ්‍ය ලංකාවට විරුද්ධයි කියල). මම කියන්නෙ සිංහල බෞද්ධ කියන සංකල්පය ධර්මයට අදාල නෑ, ඒක පවතින දේශපාලනයේ කොටසක්. ඒ වෙනුවෙන් මෙතෙක් ආරක්ෂ වී තියෙන ධර්මය විකෘති කරන්න එපා කියල.

      අනිත් කාරණය, මම කොතනකවත් කියල නෑ මුස්ලිම් අය වැඩිපුර අසාධාරණයකට පත් වෙලා කියලවත්, සිංහලයා අසාධාරණයට පත් වෙලා නෑ කියලවත්. ආයෙත් සැරයක් හොඳට කියවල බලන්න. මගේ විරෝධය මේ දේශපාලනයට මිසක් සිංහලයටවත් බෞද්ධයටවත් නෙවෙයි. ප්‍රශ්නය තියෙන්නෙ උඹල වගේ අහිංසක සිංහල බෞද්ධයො මේ දේශපාලන ව්‍යෘපෘති වල ගොදුරු බවට පත්වෙන එක.

      Delete
    7. "උඹ දැන් ඉරක් ගහල සිංහලයා බෞද්ධයා කියල වෙන් කරාට මේක ලංකාවෙදි එකක්. (ඒකයි අපි දෙමළ බෞද්ධයො ගැනවත් සිංහල ඉස්ලාම් ජන කොටසක් ගැනවත් කතා කරන්නෙ නැත්තෙ)." ඇයි මචන් උඹ සිංහල කතෝලිකයා මෙතැනදී හැලුවේ. නිකන් උගුරට හොර බෙහෙත් බොන්න හදන්න එපා. ප්‍රශ්නය සාධාරණව විග්‍රහ නොකරගෙන එක අන්තයකට ලඝු උනාම ඔහොම වෙනවා. මේ ප්‍රශ්න උග්‍ර වෙන්න ප්‍රදානම හේතුව ඒකයි.මම කිසි තැනක කිව්වේ නැහැ සිංහලයා / බෞද්ධයා වැරදි නොකලා සියලුම වැරදි කලේ අන්‍ය ජාතින්/ ආගමිකයන් කියලා. නමුත් ඔබේ අදහස් වලින් පෙන්වන්නේ සිංහලයා / බෞද්ධයා විතරක් උලුප්පා දැක්වීමක්.

      ධර්මය ඕනි විදිය අර්ථ දක්වෙනවා කියලා උඹ ඔය චෝදනාව කරන්නේ ආගමේ පැවැත්ම සුරක්ෂිත කරන්නට බෞද්ධයා දරන උත්සාහයන්ට නම් (ඒවා සියල්ල නිවැරදි ලෙසම සිදුවේයයි මම නොකියමි) එය සිදුවන්නේ රාජ්‍ය සතු බුදුදහම සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම පැහැර හැරීමේ ප්‍රතිඵලයක් විදියටයි. බුදු දහම අවිහිංසාවාදී දහමක්!! සම්පුර්ණ ඇත්ත. නමුත් ආක්‍රමණකාරී හරයන් සහිත අනෙක් දෘෂ්ටිවාද සමග බුදු දහමේ පැවැත්ම තහවුරු වන්නට නම් රාජ්‍ය සතු බුදුදහම සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම ඉටුවිය යුතුමයි. එය එසේ නොවන තැනදී සිංහලයා /බෞද්ධයා තෝරාගතයුතු විකල්පය කුමක්ද?
      ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර දීම (අකමැත්තෙන් හෝදේපල මංකොල්ල කෑම බෞද්ධ චර්යාවක් නොවේ)
      නිවටුන් සේ අවසන් සිංහලයා /බෞද්ධයා මෙරටින් තුරන්වනතුරු හිස් ගැසුම් කෑම
      තට්ටු මාරු දේශපාලනය දිගින් දිගටම පරීක්ෂණයට ලක් කිරීම

      "මේ සිංහල බෞද්ධ දේශපාලනය අඩුවැඩි වශයෙන් මෑත ඉතිහාසය පුරාවටම තිබුණා. ඒත් පහුගිය අවුරුදු 5-10 ඇතුලත ඒක ප්‍රධාන ධාරාවේ දේශපාලනය බවට පත්වෙලා" තත්වය මෙහෙම නම් අලුත්ගම ස්වාමින් වහන්සේට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගන්න උද්ඝෝශන තියන්න අවශ්‍ය වේවිද ?
      "මේ සංකල්පය තමයි දෙමළ ජනතාව දේශපාලනිකව පරාජය කරන්නත් දකුණේ සිංහල ජනතාව නොමඟ යවා පාලනය කිරීමටත් අද යොදා ගනිමින් තියෙන්නෙ" දෙමළ ජනතාව දේශපාලනිකව පරාජය කලා යන්නෙන් අදහස් කරන්නේ එක්ව සිටිනවාද වෙන්ව යනවාද යන්න තීරණය කිරීමේ අයි තිය දෙමල ජනතාවට ලබා නොදි තිබීම කියන දේ නම් ටිකක් කල්පනා කරලා බලන්න දෙමළාට මුස්ලිම් ජාතිකයාට ලංකාවේ ඕනෑම තැනක ඉඩමක අරන් පදිංචි වෙන්න පුළුවන්. හැබැයි සිංහලයට ඒක බැහැ. මහා ජාතිය කියලා සීතාම්බර සළුවකින් සිංහලයා ඔතලා පැත්තකින් තියල තියෙන්නේ උඹ ඔය කියන ප්‍රධාන දේශපාලන ධාරාවමයි නේද?

      "සිංහල බෞද්ධ කියන සංකල්පය ධර්මයට අදාල නෑ" බොහොම හරි. නමුත් සිංහලයා /බෞද්ධයා ඒ ධර්මය රැකගන්න දරපු උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට තමයි මෙතෙක් කලක් හෝ ලෝකයේ මේක රැඳිලා තියෙන්නේ. ධර්මය පහුරක් කරගන්න කියලනේ බුදුන් වහන්සේත් දේශනා කළේ, ඉතින් පෘතග්ජන සිංහලයා /බෞද්ධයා තාම පහුරේ යනවා පහුර විසිකරන්න නම් ඉතින් (කලූට ධර්මයේ පැවැත්ම අවශ්‍යනොවේ යයි ඔහුගේ අදහස් අනුව මට හැඟේ) නිවන් දකිනකම්ම ඉන්න වෙනවා. දැන්ම පහුර විසිකලොත් සිංහලයාට /බෞද්ධයාට වෙන්නේ සසර සයුරේ අතරමං වෙන්න තමයි.
      ලෝකයේ නාමිකව හෝ බෞද්ධයයි හඳුන්වන රටවල් ලෙස ඉතිරිව ඇත්තේ ඉතා අල්පයක්‌ නේද? කලින් බෞද්ධව තිබී දැන් එසේ නොවන රටවල් කොපමණ තිබේ දැයි කලූ මටත් වැඩ හොඳින් දන්නවා ඇති.

      "මම කොතනකවත් කියල නෑ මුස්ලිම් අය වැඩිපුර අසාධාරණයකට පත් වෙලා කියලවත්, සිංහලයා අසාධාරණයට පත් වෙලා නෑ කියලවත්" එහෙමනම් ඇයි කලූ පිරිත් නූල කපල දැම්මේ ඇයි ෆසීල්ට කියන්න බැරිඋනේ අපි එකතුවෙලා ඉඳිමු (යටින් උගුල් නොඇද ) උඹ උඹේ තොප්පිය හෝදගනින් මන් මගේ කිළුටු වෙච්ච පිරිත් නූල හෝද ගන්නම් කියලා.

      "මගේ විරෝධය මේ දේශපාලනයට මිසක් සිංහලයටවත් බෞද්ධයටවත් නෙවෙයි. ප්‍රශ්නය තියෙන්නෙ උඹල වගේ අහිංසක සිංහල බෞද්ධයො මේ දේශපාලන ව්‍යෘපෘති වල ගොදුරු බවට පත්වෙන එක."මගේ විරෝධය තියෙන්නේ මේ දේශපාලන ව්‍යාපෘති වලට වගේම හැමදේටම සිංහල /බෞද්ධ මුවහමට තලන ඊනියා බෞද්ධයන්ටත් එක්කයි.

      Delete
    8. උඹ හැම තිස්සෙම මං නොකියපු දෙයක් ඇදල අරන් ඇර ගන්න හදනවා, එහෙම නැත්තං මං මොකක් හරි කිව්වෙ නෑ කියල ඇර ගන්න හදනවා. මට කියන්න තියෙන ඔක්කොම දේවල් එක සැරේ කියන්න ඕනනම් මට පොතක් ලියන්න වෙනවා. මේ පොඩි පොඩි හෑලි ලියල හරි යන්නෙ නෑ.

      නානසාරලා උඹලට අන්දල තියෙන කහ කණ්ණාඩි ගලවල පොඩ්ඩක් බලපන්, ඊට පස්සෙ අපි ඔය දේවල් කතා කරමු.

      Delete
    9. උත්තර නැත්නම් ඔහොම පැනලා දුවන්න එපා කලූ.

      Delete
  5. Sa rasa,
    මචන් දෙකම හරියන්නේ නැහැ. එකයි හරි විය යුත්තේ. මගේ කවියෙන් මම උත්සහ කලේ මේ ප්‍රශ්නයේ දෙපැත්තක් තියෙනවා කියල පෙන්වන්නයි. සිංහලයා, මරක්කලයා සහ දෙමළා කොටවල තියාගන්නේ මේ ක්‍රමය විසින්. ක්‍රමය විසින් මොවුන් සියල්ලන්ම නටවනවා. නමුත් එසේ වූ පමණින් යම් සිදුවීමකදී සිංහලයා පමණක් වැරදි කරු යැයි තීරණය වන්නේ කෙසේද? මේ ආකාරයේ විනිශ්චයන් සාධාරණද?

    ReplyDelete
  6. මම ඔබ සමග එකඟයි ඇනෝ.. මමත් එලෙස ලියුවේ උපහාසය දනවන්නයි.

    ReplyDelete
  7. කළු.......හිතේ තද කරගෙන ඉඳලා කියන්න හිටිය දේවල් උඹ මගේ පිටට තට්ටු කරලා එලියට දැම්මා වගේ වුනා මේ කවිය කියෙව්වාම. ස්තූතියි!!

    ReplyDelete