Wednesday 9 July 2014

ආදරණිය ජනතාවට කරන නිවේදනයයි


රජ පවුලේ ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය,
ඉල්ලංකාව.

ආදරණිය ජනතාව වෙත,
ජනතාව තම අභිලාශයන් ඉක්මවා කටයුතු කිරීම

ඉල්ලංකා ජනතාව විසින්  තම මුඛය භාවිතා කර සිදුකල යුතු යයි රාජ සභාව විසින් අනුමත කොට ඇති ආහාර ගැනීම සහ ප්‍රශස්ති ගී ගැයිම යන කාර්යයන්ට අමතරව, අනුමත අභිලාෂයන් ඉක්මවා යමින්, කතා කිරීම, විවේචනය කිරීම, අදහස් දැක්වීම, සාකච්ඡා පැවැත්වීම, කවි සින්දු කීම, කට කතා පැතිරවීම, මඩ ගැසීම, නන් දෙඩවීම, කට බලියා ගෙන සිටීම, ඇතුලු තවත් නොයෙක් අකටයුතු ක්‍රියාවන් වල නිරත වන බව දැන ගැනීමට ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි එවන් ක්‍රියාවන් වල යෙදීමෙන් වැලකිය යුතු බව ඉල්ලංකා ජනතාවට මෙයින් අවධාරණය කරනු ලැබේ.

මෙයට,
ලේකම්,

රජ පවුලේ ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය.

Thursday 19 June 2014

සමාවෙයන් ෆසීල්...


හොස්ටල් එකේදි
අපි ඇරගත්ත තමයි....
උඹලගෙ දෙයියො ගැන,
අල්කයිඩා, නයින් ඉලෙවන් ගැන,
අපි උඹත් එක්ක ඇරගත්ත තමයි...
උඹේ තොප්පිය හැංගුවම,
සරම කඩන්න හදනකොට,
උඹ අපිත් එක්ක ඇරගත්ත තමයි...
ඒත් කවදාවත්
උඹේ තොප්පියවත්,
මගේ පිරිත් නූලවත්,
අපිට ප්‍රශ්නයක් වුනේ නෑ.....
ඒත් දැන්
පිරිත් නූල් අහිංසක නෑ...
ලැජ්ජාව වහගන්න,
මං ඒක කපල දැම්ම මචං....
උඹට බය නැතුව,
තොප්පිය දාගෙන එන්න පුලුවන් දවසක,
මං එන්නං උඹත් එක්ක.....
රහුමානියා එකෙන්,
වඩයක් කාලා, ප්ලේන්ටියක් බොන්න.....
ඉස්සර වගේ කතා කරමු අපි,
නිලාර්ගෙ සිංහල සින්දු ගැන....

Friday 16 May 2014

අපි කන මාලු පාන්


මාලු පාන් වල මාලු නෑ...
ඒත් අපි රහ කර කර මාලු පාන් කනවා..
ගල් අරක්කු වල ගල් නෑ....
ඒත් අපි කරටි කැඩෙන්න ගල් ගහනවා...
චයිනීස් කඩවල චීන කෑම නෑ...
ඒත් අපි ඉඳල හිටල හරි  චයිනීස් යනවා....
සිවුර ඇතුලෙ බුද්ධාගම  නෑ..
ඒත් අපි දණ ගහල සිවුරට වඳිනවා....




(ඒත් කලාතුරකින් තැනක... මාලු පාන් වල මාලු තියෙන්න පුලුවන්)

Sunday 27 April 2014

ඔපරේෂන් ඔටු සුප්

මේ දවස් වල ඉල්ලංකැලෑවෙ මහ ගිනි විජ්ජුම්බරයයි. කහ කුරුලු හමුදාව ඔටුවන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරලා.

කහ කුරුලු හමුදාව වැඩේ පටන් ගත්තෙ ඔටුවන්ගෙ කෑම, අනික් සත්තුන්ට කන්න දෙන්න බෑ කියල. ඊට පස්සෙ ඔටුවන්ගෙන් බඩු ගන්න එක වර්ජනය කරන්න කිව්ව. ඔටුවන්ට ඉල්ලංකැලෑවෙ ඉන්න අයිතියක් නෑලු, ඔටුවො කාන්තාරෙ ඉඳල ඉල්ලංකැලෑවට ඇවිත් තියෙන්නෙ ඉල්ලංකැලෑවත් කාන්තාරයක් කරන්නලු, එහෙම වුනොත් ඉල්ලංකැලෑවෙ සත්තුන්ට ඉන්න හිටින්න තැනක් නැති වෙනවලු. කහ කුරුල්ලො විතරක් නෙවෙයි, බඩ කහ නයි, කහඳ පණුවො, කහ කොරවක්කො විතරක් නෙවෙයි සිවුරු හොරුත් ඔටුවන්ට විරුද්ධයි. කැලේ අනෙක් සත්තුත් හිටු කියල වැඩේට සපෝට්.

පහුගිය දවසක පොඩි හුටප්පරයක් වෙලා, වැදි මූකලාන පැත්තෙ වැටක රකින වරක මදුලා ඔටුවන්ට සපෝට් කරන්න පටන් අරන්. කහ කුරුලු හමුදාවෙ අණදෙන නිලධාරියා වෙච්ච ගූ ගොඩ අත්තෙ වහන කහ කුරුල්ලට මළ පැනලා. වැටේ රකින වරක මදුලාට දුන්න හොඳ සම්බුවක්, කැලේ සත්තුන්ගෙන් සමාව ගන්නත් සිද්ධ කලා. කැලෑ පත්තරවලින් දුන්නා නියම ප්‍රසිද්ධියක්. බලන්න එපාය,  ගූ ගොඩ අත්තෙ කහ කුරුල්ලගෙ සාන්ත දාන්ත කතාව, කැලේ සත්තු බොහොමයක් කැලෑ බුකියෙ පින්තූර දාලා තිබ්බෙ “ කැලේ සත්තුන්ගෙ පිනට පහල වෙච්ච කැලෑ දෙයියෙක්“ කියල. බුකියෙ කරක් ගහන කැලේ සත්තු ආයෙ සැරයක් කැලෑප්‍රේමී වෙන්නත් පටන් අරන්.

පොඩි කොස්සකට තියෙන්නෙ සමාව ගත්තට වැටේ රකින වරක මදුලා වැඩේ අත ඇරල නෑ. තවමත් ඔටුවන්ට සපෝට්. ආයෙ සැරයක් සම්බුව දෙන්න බලන කොට වරක මදුලා ගිහිල්ල ඔටු ඇමතියෙක්ගෙ කූඩාරමක හැංගිලා.  කහ කුරුලු හමුදාව මහා මෙහෙයුමක් කලා ඌව අල්ල ගන්න “ඔපරේෂන් ඔටු සුප්“ කියල. වැඩේ නැගල ගියා. නයි ටීවී එක ලයිව් කවරේජ් එකකුත් දුන්න. තව පොඩ්ඩෙන් වරක මදුලායි ඔටු ඇමතියයි දෙන්නම සුප් කරනවා. කොහොම හරි වරක මදුලා ලිස්සල ගිහින්.  “ඔපරේෂන් ඔටු සුප්“ එක අසාර්ථක වුනා. කහ කුරුල්ලන්ට වස ලැජ්ජාව.

ගූ ගොඩ අත්තෙ කහ කුරුල්ල වහාම ගියා, කැලේ රජා, මැද මූකලානෙ මහනරියා හම්බ වෙන්න. කිව්ව කතන්දරේ රජතුමාට. කැලෑ රාජ්ජෙ නිලධාරි සත්තු හරියට වැඩ කරන්නෙ නෑය, තව ටික දවසක් මෙහෙම ගියොත් ඉල්ලංකැලෑව ඔටු කාන්තාරයක් වෙනවාය, ඔටුවන්ට ෆයිට් එකක් දෙන්න නම් තව ටිකක් රාජ සපෝට් එකත් ඕනෑය, කියල. මැද මූකලානෙ මහනරියා දන්නවා මෙච්චර කලුත් කහ කුරුලු හමුදාවට හොරෙන් හොරෙන් සපෝට් කලේ මහනරියගෙ මල්ලි, කොට නරියා කියලා. ඒත් ඉතින් ගූ ගොඩ අත්තෙ කහ කුරුල්ලට වෙලාවෙ හැටියට උදව්වක් කරන්නත් එපාය. මැද මූකලානෙ මහනරියාට ආවා නියම අයිඩියාවක්. ඔටු ප්‍රශ්න වලට හොට දාන්න වෙනම අංශයක් කැලෑ පොලොස්සියෙ පිහිටවන්නං කියල ගූ ගොඩ අත්තෙ කහ කුරුල්ලට පොරොන්දු වුනා.


කැලෑ පොලොස්සියත් බොක්කෙන්ම සපෝට්. මැද මූකලානෙ මහනරියා ඉල්ලංකැලෑවෙ රජ වෙච්ච දවසෙ ඉඳල කැලෑ නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන හින්ද කැලෑ පොලොස්සියටත් වැඩ නැතිව හිටියෙ. ඉඳල හිටල හයියෙන් ගිය ගොලුබෙල්ලෙක්ගෙන්, කෙහෙල් ගහකට කොටපු කොට්ටෝරුවෙක්ගෙන් දඩයක් ගහනව ඇරෙන්න, උන්ට තිබිච්ච එකම වැඩේ කහ කුරුලු හමුදාවෙ ඔටු ඔපරේෂන් දිහා බලන් ඉන්න එකම තමා. 

Friday 11 April 2014

නංගිලාට ආදරය කරමු....

මලාලාට වෙඩි තිබ්බා
ඒකි පකිස්තාන්...
වෙඩි තිබ්බෙ අන්තවාදියො
අපි.......
ශෝක ප්‍රකාශ කලා
බුකිය පුරාවටම...

නිර්භයාව රේප් කරා
ඒකි ඉන්දියන්....
කරපු එවුන් අල්ලනකන්
අපි....
පෙලපාලිත් ගියා
පින්තූර නොතිබුනත්...
ශෙයා කරා, ලයික් කරා

වෙනුෂා...
බුකිය නිසාම යන්න ගියා
ඒකි අපේම එකියක්.....
ප්‍රින්සිපල්ව ගෙදර යවනකන්
අපි....
විවේචනය කරා
බුකිය තහනම් කරන්නත්
ලයික් කරා

එතකොට  විභුෂිකා.....
*
*
*

(කවුද බං විභුෂිකා කියන්නෙ....)

Sunday 16 March 2014

බෝයිං හතේ තුන...


ඇමැත්තොන්ගෙ මීටිම ඉවර වෙලා අම්බානක මළ පැනලා හිටපු රජතුමා ඇතුලු ගෙට ගිහින් හාන්සි පුටුවෙ ඇලට් එකක් දැම්ම. පුටුව යටට අත දාලා කසියා බෝතලේ අරන් හීනියට ෂොට් එකක් දාල, කකුල් දෙක උඩට අරන් බෝලෙ මිරික මිරික ඉන්න කොට දැක්ක කවුදෝ එකෙක් මැද මිදුලෙ හොරගල් අහුලනව.

“අ...ප්පිරියංකර නේ... මොකෝ උඹ හොරගල් අහුලන්නෙ“
ගුවන් ඇමතියා කැරකෙන්නෙ නං හොඳකට නෙවෙයි වුනත් රජතුමා කතාකරා.

“සුබ අනාගතයක් රජතුමා සෑර්...“  ගුවන් ඇමතියා මහපටඟිල්ලෙන් පොලොව හාරන ගමන් කිව්වා.

“හා.. හා.. තොඳොල් වෙන්නැතුව කියපන් උඹ ආපු කාරණාව..“
“රජතුමා සෑර්...අපේ අර එම්ආර්අයිඒ එක තියෙනවනේ....“
“ඔව්.. ඔව්..මගේ අලුත් එයාපෝට් එක.. .ඒක ඉතින් තියෙනවනේ....මොකෑ දැන් පස්නෙ..“
ඕක ගැන නම් ඉතින් ප්‍රස්නයක්ම තමයි කියල හිතපු රජතුමා ටිකක් සැරෙන් ඇහුව.

“ඕකට සෑර් ප්ලේන් එන්නෙ නැති හින්ද අපි ටුවරිස්ම් පටන් ගත්තනෙ...ගමේ එව්වන්ට එයාපෝට් පෙන්නන්න..“
“ඔව් ඉතින්.... මං කිව්වෙ නැත්තං උඹලට එහෙමවත් අයිඩියාවක් එනවද...“

“පොඩි පස්නයක් තියෙනව සෑර්.. ප්ලේන් නැති හින්ද එන සෙනඟ අඩුවෙලා...මෙච්චර කල් යන්තං රනවේ එක පෙන්නල ජාම බේරගත්ත...අර යක්කු වීදුරුවල කොල අලවල, දැන් මෙලෝ මඟුලක් පේන්නෙ නෑ...වතුර නැතුව වටේ තියෙන ගස් ටිකත් කරකුට්ටං වෙලා...කොන්ක්‍රීට් බිත්ති බලන්න මිනිස්සු එන්නෑ සෑර් දැන්... ‍“

“මොකක් හරි උප්පරවැට්ටියක් දාපං...ගත්තු ණය කෙසේ වෙතත් අර සික්කො බක්කොන්ගෙ පඩිවත් ගෙවන්න ගාන හොයා ගනිං..නැත්තං මං ගමේ ගිහින් ඉවරයි..“
“එකසිය පනහෙ ටිකට් එක සීයට බැස්සුව.. ඒත් හරියන්නෑ සෑර්...මේ සැරේනං මොනව හරි කරන්න වෙයි ...“

“හ්ම්..උඹලට ඉතින් මම්ම මොනව හරි කරන්න ඕන...පලයං.. පලයං..මං හිතල බලන්නං“
“කරන දෙයක් ඉක්මණට සෑර්...“
ගුවන් ඇමතියා හාන්සි පුටුව යට තියෙන කසිය බෝතලේ දිහාට පෙරේත බැල්මක් දාලා මාරු වෙලා ගියා.

රජතුමා තව ෂොට් එකක් දාල බෝලෙ මිරිකන්න පටන් ගත්ත. පැය බාගයක් විතර බෝලෙ මිරික මිරික ඉන්න කොට කසියා බෝතලේ අඩිය පේන්න ගත්ත. ඔන්න එතකොටම රජතුමාට කල්පනාවට ආව චෑංචූංට කෝල් එකක් දීල බලන්න. රජතුමා බෝලෙ වට්ටගන්නෙ නැතුව අමාරුවෙන් සරම ගැට ගහගෙන, එකත්පස්ව හිට ගෙන ගත්ත කෝල් එක. කිව්ව කතන්දරේ චෑංචූංට. වැඩේ හරි.

හාන්සි පුටුවෙ වාඩිවෙලා කකුල් දෙක උඩට අරන් ආයෙත් බෝලෙ මිරිකන්න ගත්ත රජතුමා ගුවන් ඇමතියාට කෝල් කරා.

“හෙට උදේ හය වෙනකොට ප්ලේන් එකක් ඇති එම්ආර්අයිඒ එකේ. උඹට ඕන දවසක් තියා ගනින්. ඉඳල හිටල රවුමක් එහෙම ගියාට කමක් නෑ. නැත්තං මිනිස්සු හිතයි කැඩිච්ච මඟුලක් ගෙනත් දාලා කියල. ආ...ගාන දෙසීය කරපන්. එකසිය පනහට පෙන්නුවෙ ප්ලේන් නැතුවනෙ.“

ඇමතියා මොනව හරි කියන්න කලින් කෝල් එක කට් කරපු රජතුමා කල්පනා කලේ  චෑංචූං කොහොමද මේ වැඩේ කරන්නෙ කියල. කියන පරක්කුවට ප්ලේන් එකක් එවන්නෙ මූ හොර ප්ලේන් බිස්නස් එකක්වත් කරනවද දන්නෑ නෙව.

*********

දිවුලංපිටියෙ අමරය එව්ව මුව මස් හොද්ද එක්ක කුරක්කන් තලපයක් කන්න ලෑස්ති වුනා විතරයි ෆෝන් එක කෑ ගහන්න ගත්ත. මළ අතේ තියාගෙන දෙකක් කියන්න බලන කොට ගුවන් ඇමතියා.

“ආයුබොවන් ..රජතුමා සෑර්... වැඩේ නැගල යනව...සූ ගාලා සෙනඟ...වඩේ කාරයො, තැඹිලි කාරයො පාර දෙපැත්තෙ කඩත් දාල..“
“ඕකනෙ ඉතින් ...උඹලට මම්ම ඉන්න ඕන ඔහොම එකක්වත් කරල දෙන්න..ආ ..අර කඩ කාරයන්ගෙන් පන්සීය ගානෙ ගනින්..“
“සෑර් ...පොඩි පස්නයක් තියෙනව සෑර්......ප්ලේන් එකේ ඇමරිකන් කොඩියක් අලවල තියෙනව....“

“අම්මට උඩු“  චෑංචූංකාරයා ඇමරිකන් ප්ලේන් එකක්වත් උස්සලද දන්නෑ කියල රජතුමාට හිතුන.
“ඔව් ඉතින් මොකක්ද පස්නෙ...“
“නෑ... සෑර්..මේකනෙ පස්නේ..“   ඇමතියා ඇඹරෙන්න ගත්ත

“අපි සෑර්... හැම මඟුලටම බනින්නෙ ඇමරිකන් කාරයටනේ..ඉතින් ඒ අස්සේ උන්ගෙ ප්ලේන් පෙන්නන කොට.....අවුල ඒකමත් නෙමෙයි..විමලයගෙ එවුං විරෝධතාවක් කරන්න යනවලු අපේ ගුවන් සීමාව  ආක්‍රමණය කරා කියල...“

‘මේ යකාටත් නිකන් ඉන්න බෑ...හැම මඟුලටම විරෝධතා දාන්නෙ ‘  කියල හිතපු රජතුමා ඌට පස්සෙ දෙකක් කියන්න හිතාගත්ත.
“දැන් උඹට ෂුවර්ද ඕක ඇමරිකන් කොඩියක් කියල“ රජතුමා ඇහුවේ ඇමැත්තො ගැන හොඳට දන්න හින්ද

“සෑර් රතුයි සුදුයි ඉරි තියෙනව, නිල් පාට කොටුවක තරුත් තියෙනව.....හැබැයි සෑර් ලොකු අකුරෙන් ලියල තියෙන්නෙ ඇමරිකා කියල නෙමෙයි... එම් අකුරෙන් පටන් ගත්තට ..සෑර් ගෙ නමත් නෙමෙයි......මැද හරියෙ එල් එකක් නම් තියෙනව....ඇත්තට ..කොහෙන්ද සෑර් ඔය ප්ලේන් එක...“

“මේ... කියපන්...උඹ ඉංගිරිසි දන්නෑ නේද...“  මේ වගෙ ඇමැත්තොත් එක්ක රජ වෙනවට වඩා හොඳයි වෙන මොකෙක් හරි උනා නම් කියල රජතුමාට හිතුන.

එතකොට තමයි ඇමතියට හිතුනෙ කට වරද්දගත්ත නේද කියල.

“අර හන්දි ගානෙ මගේ පින්තූර දාලා කටවුට් ගහන එකෙක් ඉන්නෙ බුවා ස්ටිකර්ස් කියල... ඩලස් කොටාගෙන් නොම්මරේ ඉල්ල ගනිං...... ඌට කියපන් ස්ටිකර් ටිකක් හදල දෙන්න කියල, රට රටවල කොඩි ටිකක්...රුසියාව, කියුබාව හොඳයි... ස්වාසිලන්තෙත් නරක නෑ...හැමදාම රෑට අලුත් කොඩියක් අලවපං ප්ලේන් එකේ...එතකොට මිනිස්සු දැනගන්නෙත් නෑ එකම ප්ලේන් එක කියල....“  රජතුමා ටිකිරි මොලෙන් ක්ෂනික විසඳුමක් දුන්න.

“රජතුමා සෑර්... තව සුට්ටං පස්නයක් තියෙනව සෑර්“  ඇමතියා ආයෙත් ඇඹරෙන්න ගත්ත.
“ඒ පාර මොකක්ද..“
“සෑර්...ප්ලේන් එකේ මිනිස්සු ඉන්නව...“
“අම්මට උඩු...“ ඒකනං ටිකක් කිරිමේල් කියල රජතුමාට තේරුනා.
“ඔව් සෑර්.... සීට් පිරෙන්න සෙනඟ...මොකද අපි උන්ට කරන්නෙ...සම්බෝලයි ආප්පයි ටිකක්වත් යවන්නද සෑර්....ඊයේ රෑ ඉඳං කෑමක්වත් නැතුන ඇතිනේ...“

“දැනට ඔය මොනව හරි කරපන්කො....උන්ව එලියට නං යවන්න එපා....ස්ටිකර් වැඩෙත් ඉක්මනට කරපං...“

වැඩේ ටිකක් විතර සීන්කෝන් කියල රජතුමාට හිතුනා. ඇමතියගෙ කෝල් එක කට් කරපු රජතුමා මුව මස් කෑල්ලක් කටේ දාගෙනම චෑංචූංට කෝල් කරා.

“හෙලෝ චෑංචූං..තැන්කියු ..තැන්කියු..වැඩේ එලට කෙරුනා..“  රජතුමා ප්‍රස්න අහන්න කලිං පොඩි බටර් පාරක් ගෑව.
“වැඩේ නං නියමයි...පොඩි අවුලක් තියෙන්නෙ ප්ලේන් එකේ මිනිස්සු ටිකක් ඉන්නවනේ...මොකද ඒ ගොල්ලන්ට කරන්නෙ...මං කෑම ටිකක් නං යැව්ව...“

“ආ...උන් මෙහේ  කරදරකාරයො ටිකක්...උඹට ඕන එකක් කරපං සද්ද නැතුව....හැබැයි පුතෝ....දන්නව නේ ...සීරෝ කැසුවල්ටි....නැත්තං මටත් වෙන්නෙ උඹත් එක්ක ජිනීවා යන්න....“

“එහෙම කියන්න එපායැ....මං මලයට කියන්නං මානුෂික මෙහෙයුමක් කරන්න කියල...“   චෑංචූංට තව සැරයක් ස්තුති කරපු රජතුමා කෝල් එක කට් කරා.

රජතුමා  සුටුස් ගාලා ඇමතියට කෝල් කරා ආප්ප ටික බේර ගන්න හිතාගෙන.
“උඹ ආප්ප යැව්වෙ නෑනෙ තවම...තව ටිකකින් අපේ මලයගෙ කොල්ලො ටිකක් ඇවිත් ප්ලේන් එකේ ඉන්න එව්වො  ටික අරන් යයි...මලය උන්ට හොඳට සලකයි...ආප්ප ඕන්නෑ....“

“රජතුමා සෑර්...මැලේසියාව පැත්තෙ ප්ලේන් එකක් නැතිවෙලා කියල නිවුස් එකක් බුකියේ තිබුනා...වැරදිලාවත් මේ ඒක නෙවෙයි නේද සෑර්.....“

“උඹ නිව්ස් බලන්නෙත් බුකියෙද දැන්....මගෙන් මුකුත් අහගන්න එපා උඹ....අනික මැලේසියාව තියෙන්නෙ කොච්චර දුරද....එක රෑට එහෙ ඉඳන් ප්ලේන් එකක් ගෙන්නන්න මං සැක්කරයද.....“  ඇමැත්තො නයිටීඇන් එක ඇරෙන්න වෙන මුකුත් බලන්නෑ කියලයි උන්ගේ භූගෝල දැනුම ගැනයි දන්න හින්ද රජතුමා පොඩි සද්දයක් දැම්ම.

ඇත්තටම චෑංචූං එව්වෙ උස්සපු බඩ්ඩක්ද දන්නෑ කියල හිතුනෙ, කියන පරක්කුවට ඌ වැඩේ කරපු බව මතක් වෙච්ච නිසා. උගේ ණය ගෙව්වෙ නැති හින්ද අංචියක්වත් ඇද්දද කියල පොඩි බයකුත් හිතිච්ච රජතුමා කෝකටත් බුකියෙ රවුමක් ගහල මේක ඇත්තද කියල බලන්න හිතුව. බුකිය පුරාම කොලුවගේ පින්තූර...ඌ අර නැට්ටිච්ච්ගෙ පස්ස බලාගෙන ආතල් ගන්න පින්තූරයක්.. 


‘කොරන මළදානයක් හංගගෙන කොරහන්කො..දැන් මං තමයි ඒකටත් බැනුං අහන්න වෙන්නෙ ගෙදර අම්මණ්ඩිගෙන්....‘ කියල මතක් වෙච්ච රජතුමාට ප්ලේන් සීන් එක අමතකම වෙලා ගියා.

 *******

අඩියක් ගහන ගමන් රජතුමා කල්පනා කලේ ගාලු රැස්වීමෙදි කරපු කතාව ගැන. හිටපු මහ රැජිනට තව දෙකක් කියන්නයි තිබුනේ කියල හිතල තව එකක් දාගත්ත. ඒ අස්සෙ  ගුවන් ඇමතියා හති දාගෙන දුවගෙන ආවා.

“රජතුමා සෑර්...මේ සැරේ නං අපි ඉවරයි...අර ප්ලේන් එක මැලේසියාවෙ නැති වෙච්ච එක කියල හොයාගෙන...“ ගුවන් ඇමතියා හති දමදම අඬන්න තියාගත්ත.

“දැන් කවුද ඕක හොයා ගෙන තියෙන්නෙ“ මේ සැරේ නම් වැඩේ භයානක උනත් බය පෙන්නන්නෙ නැතුව රජතුමා ඇමතියට සැර කරා.
“ඇයි සෑර්...අර බුකියෙ එව්වොයි.... බොග දාන එව්වොයි හැමෝම කියන්නෙ“

“අනේ උන් දන්න ලබ්බ...මගෙන් මුකුත් අහගන්න එපා උඹ“
“නෑ සෑර් ....ඇමරිකන් කාරයා හොයාගෙනලු ..ප්ලේන් එක අන්තිමට හරවල තියෙන්නෙ ඉන්දියන් සාගරේ පැත්තට කියල....උන් දැන් මේ පැත්තට එනවලු ප්ලේන් එක හොය හොයා....“

ඒ පාරනම් වැඩේ ඇත්තටම කිරිමේල් කියල රජතුමාට හිතුන. ඇමරිකන් කාරයගෙ සැටලයිට් එකකට ඕක මාට්ටු වුනොත් විදුලි පුටුවෙ ඉඳගන්න වෙන්නෙ චෑංචූංට නෙවෙයි තමන්ටමයි කියල තේරිච්ච රජතුමා දහඅතේ කල්පනා කරන්න ගත්ත. ගුවන් ඇමතියා හාන්සි පුටුවෙ කකුල බදාගෙන අඬන ගමන් කසිය බෝතලේ පැත්තට අතදානව දැක්ක රජතුමාගෙ ටිකිරි මොලේට නියම අයිඩියාවක් ආවා.

“ගන්නව කෝල් එකක් අර නයිටීඇන් එකේ යකඩ අධර්මන්ට...මිනිහ කියන පරක්කුවට ඕක අන්තරස්දාන කරල දායි..“