Sunday 16 March 2014

බෝයිං හතේ තුන...


ඇමැත්තොන්ගෙ මීටිම ඉවර වෙලා අම්බානක මළ පැනලා හිටපු රජතුමා ඇතුලු ගෙට ගිහින් හාන්සි පුටුවෙ ඇලට් එකක් දැම්ම. පුටුව යටට අත දාලා කසියා බෝතලේ අරන් හීනියට ෂොට් එකක් දාල, කකුල් දෙක උඩට අරන් බෝලෙ මිරික මිරික ඉන්න කොට දැක්ක කවුදෝ එකෙක් මැද මිදුලෙ හොරගල් අහුලනව.

“අ...ප්පිරියංකර නේ... මොකෝ උඹ හොරගල් අහුලන්නෙ“
ගුවන් ඇමතියා කැරකෙන්නෙ නං හොඳකට නෙවෙයි වුනත් රජතුමා කතාකරා.

“සුබ අනාගතයක් රජතුමා සෑර්...“  ගුවන් ඇමතියා මහපටඟිල්ලෙන් පොලොව හාරන ගමන් කිව්වා.

“හා.. හා.. තොඳොල් වෙන්නැතුව කියපන් උඹ ආපු කාරණාව..“
“රජතුමා සෑර්...අපේ අර එම්ආර්අයිඒ එක තියෙනවනේ....“
“ඔව්.. ඔව්..මගේ අලුත් එයාපෝට් එක.. .ඒක ඉතින් තියෙනවනේ....මොකෑ දැන් පස්නෙ..“
ඕක ගැන නම් ඉතින් ප්‍රස්නයක්ම තමයි කියල හිතපු රජතුමා ටිකක් සැරෙන් ඇහුව.

“ඕකට සෑර් ප්ලේන් එන්නෙ නැති හින්ද අපි ටුවරිස්ම් පටන් ගත්තනෙ...ගමේ එව්වන්ට එයාපෝට් පෙන්නන්න..“
“ඔව් ඉතින්.... මං කිව්වෙ නැත්තං උඹලට එහෙමවත් අයිඩියාවක් එනවද...“

“පොඩි පස්නයක් තියෙනව සෑර්.. ප්ලේන් නැති හින්ද එන සෙනඟ අඩුවෙලා...මෙච්චර කල් යන්තං රනවේ එක පෙන්නල ජාම බේරගත්ත...අර යක්කු වීදුරුවල කොල අලවල, දැන් මෙලෝ මඟුලක් පේන්නෙ නෑ...වතුර නැතුව වටේ තියෙන ගස් ටිකත් කරකුට්ටං වෙලා...කොන්ක්‍රීට් බිත්ති බලන්න මිනිස්සු එන්නෑ සෑර් දැන්... ‍“

“මොකක් හරි උප්පරවැට්ටියක් දාපං...ගත්තු ණය කෙසේ වෙතත් අර සික්කො බක්කොන්ගෙ පඩිවත් ගෙවන්න ගාන හොයා ගනිං..නැත්තං මං ගමේ ගිහින් ඉවරයි..“
“එකසිය පනහෙ ටිකට් එක සීයට බැස්සුව.. ඒත් හරියන්නෑ සෑර්...මේ සැරේනං මොනව හරි කරන්න වෙයි ...“

“හ්ම්..උඹලට ඉතින් මම්ම මොනව හරි කරන්න ඕන...පලයං.. පලයං..මං හිතල බලන්නං“
“කරන දෙයක් ඉක්මණට සෑර්...“
ගුවන් ඇමතියා හාන්සි පුටුව යට තියෙන කසිය බෝතලේ දිහාට පෙරේත බැල්මක් දාලා මාරු වෙලා ගියා.

රජතුමා තව ෂොට් එකක් දාල බෝලෙ මිරිකන්න පටන් ගත්ත. පැය බාගයක් විතර බෝලෙ මිරික මිරික ඉන්න කොට කසියා බෝතලේ අඩිය පේන්න ගත්ත. ඔන්න එතකොටම රජතුමාට කල්පනාවට ආව චෑංචූංට කෝල් එකක් දීල බලන්න. රජතුමා බෝලෙ වට්ටගන්නෙ නැතුව අමාරුවෙන් සරම ගැට ගහගෙන, එකත්පස්ව හිට ගෙන ගත්ත කෝල් එක. කිව්ව කතන්දරේ චෑංචූංට. වැඩේ හරි.

හාන්සි පුටුවෙ වාඩිවෙලා කකුල් දෙක උඩට අරන් ආයෙත් බෝලෙ මිරිකන්න ගත්ත රජතුමා ගුවන් ඇමතියාට කෝල් කරා.

“හෙට උදේ හය වෙනකොට ප්ලේන් එකක් ඇති එම්ආර්අයිඒ එකේ. උඹට ඕන දවසක් තියා ගනින්. ඉඳල හිටල රවුමක් එහෙම ගියාට කමක් නෑ. නැත්තං මිනිස්සු හිතයි කැඩිච්ච මඟුලක් ගෙනත් දාලා කියල. ආ...ගාන දෙසීය කරපන්. එකසිය පනහට පෙන්නුවෙ ප්ලේන් නැතුවනෙ.“

ඇමතියා මොනව හරි කියන්න කලින් කෝල් එක කට් කරපු රජතුමා කල්පනා කලේ  චෑංචූං කොහොමද මේ වැඩේ කරන්නෙ කියල. කියන පරක්කුවට ප්ලේන් එකක් එවන්නෙ මූ හොර ප්ලේන් බිස්නස් එකක්වත් කරනවද දන්නෑ නෙව.

*********

දිවුලංපිටියෙ අමරය එව්ව මුව මස් හොද්ද එක්ක කුරක්කන් තලපයක් කන්න ලෑස්ති වුනා විතරයි ෆෝන් එක කෑ ගහන්න ගත්ත. මළ අතේ තියාගෙන දෙකක් කියන්න බලන කොට ගුවන් ඇමතියා.

“ආයුබොවන් ..රජතුමා සෑර්... වැඩේ නැගල යනව...සූ ගාලා සෙනඟ...වඩේ කාරයො, තැඹිලි කාරයො පාර දෙපැත්තෙ කඩත් දාල..“
“ඕකනෙ ඉතින් ...උඹලට මම්ම ඉන්න ඕන ඔහොම එකක්වත් කරල දෙන්න..ආ ..අර කඩ කාරයන්ගෙන් පන්සීය ගානෙ ගනින්..“
“සෑර් ...පොඩි පස්නයක් තියෙනව සෑර්......ප්ලේන් එකේ ඇමරිකන් කොඩියක් අලවල තියෙනව....“

“අම්මට උඩු“  චෑංචූංකාරයා ඇමරිකන් ප්ලේන් එකක්වත් උස්සලද දන්නෑ කියල රජතුමාට හිතුන.
“ඔව් ඉතින් මොකක්ද පස්නෙ...“
“නෑ... සෑර්..මේකනෙ පස්නේ..“   ඇමතියා ඇඹරෙන්න ගත්ත

“අපි සෑර්... හැම මඟුලටම බනින්නෙ ඇමරිකන් කාරයටනේ..ඉතින් ඒ අස්සේ උන්ගෙ ප්ලේන් පෙන්නන කොට.....අවුල ඒකමත් නෙමෙයි..විමලයගෙ එවුං විරෝධතාවක් කරන්න යනවලු අපේ ගුවන් සීමාව  ආක්‍රමණය කරා කියල...“

‘මේ යකාටත් නිකන් ඉන්න බෑ...හැම මඟුලටම විරෝධතා දාන්නෙ ‘  කියල හිතපු රජතුමා ඌට පස්සෙ දෙකක් කියන්න හිතාගත්ත.
“දැන් උඹට ෂුවර්ද ඕක ඇමරිකන් කොඩියක් කියල“ රජතුමා ඇහුවේ ඇමැත්තො ගැන හොඳට දන්න හින්ද

“සෑර් රතුයි සුදුයි ඉරි තියෙනව, නිල් පාට කොටුවක තරුත් තියෙනව.....හැබැයි සෑර් ලොකු අකුරෙන් ලියල තියෙන්නෙ ඇමරිකා කියල නෙමෙයි... එම් අකුරෙන් පටන් ගත්තට ..සෑර් ගෙ නමත් නෙමෙයි......මැද හරියෙ එල් එකක් නම් තියෙනව....ඇත්තට ..කොහෙන්ද සෑර් ඔය ප්ලේන් එක...“

“මේ... කියපන්...උඹ ඉංගිරිසි දන්නෑ නේද...“  මේ වගෙ ඇමැත්තොත් එක්ක රජ වෙනවට වඩා හොඳයි වෙන මොකෙක් හරි උනා නම් කියල රජතුමාට හිතුන.

එතකොට තමයි ඇමතියට හිතුනෙ කට වරද්දගත්ත නේද කියල.

“අර හන්දි ගානෙ මගේ පින්තූර දාලා කටවුට් ගහන එකෙක් ඉන්නෙ බුවා ස්ටිකර්ස් කියල... ඩලස් කොටාගෙන් නොම්මරේ ඉල්ල ගනිං...... ඌට කියපන් ස්ටිකර් ටිකක් හදල දෙන්න කියල, රට රටවල කොඩි ටිකක්...රුසියාව, කියුබාව හොඳයි... ස්වාසිලන්තෙත් නරක නෑ...හැමදාම රෑට අලුත් කොඩියක් අලවපං ප්ලේන් එකේ...එතකොට මිනිස්සු දැනගන්නෙත් නෑ එකම ප්ලේන් එක කියල....“  රජතුමා ටිකිරි මොලෙන් ක්ෂනික විසඳුමක් දුන්න.

“රජතුමා සෑර්... තව සුට්ටං පස්නයක් තියෙනව සෑර්“  ඇමතියා ආයෙත් ඇඹරෙන්න ගත්ත.
“ඒ පාර මොකක්ද..“
“සෑර්...ප්ලේන් එකේ මිනිස්සු ඉන්නව...“
“අම්මට උඩු...“ ඒකනං ටිකක් කිරිමේල් කියල රජතුමාට තේරුනා.
“ඔව් සෑර්.... සීට් පිරෙන්න සෙනඟ...මොකද අපි උන්ට කරන්නෙ...සම්බෝලයි ආප්පයි ටිකක්වත් යවන්නද සෑර්....ඊයේ රෑ ඉඳං කෑමක්වත් නැතුන ඇතිනේ...“

“දැනට ඔය මොනව හරි කරපන්කො....උන්ව එලියට නං යවන්න එපා....ස්ටිකර් වැඩෙත් ඉක්මනට කරපං...“

වැඩේ ටිකක් විතර සීන්කෝන් කියල රජතුමාට හිතුනා. ඇමතියගෙ කෝල් එක කට් කරපු රජතුමා මුව මස් කෑල්ලක් කටේ දාගෙනම චෑංචූංට කෝල් කරා.

“හෙලෝ චෑංචූං..තැන්කියු ..තැන්කියු..වැඩේ එලට කෙරුනා..“  රජතුමා ප්‍රස්න අහන්න කලිං පොඩි බටර් පාරක් ගෑව.
“වැඩේ නං නියමයි...පොඩි අවුලක් තියෙන්නෙ ප්ලේන් එකේ මිනිස්සු ටිකක් ඉන්නවනේ...මොකද ඒ ගොල්ලන්ට කරන්නෙ...මං කෑම ටිකක් නං යැව්ව...“

“ආ...උන් මෙහේ  කරදරකාරයො ටිකක්...උඹට ඕන එකක් කරපං සද්ද නැතුව....හැබැයි පුතෝ....දන්නව නේ ...සීරෝ කැසුවල්ටි....නැත්තං මටත් වෙන්නෙ උඹත් එක්ක ජිනීවා යන්න....“

“එහෙම කියන්න එපායැ....මං මලයට කියන්නං මානුෂික මෙහෙයුමක් කරන්න කියල...“   චෑංචූංට තව සැරයක් ස්තුති කරපු රජතුමා කෝල් එක කට් කරා.

රජතුමා  සුටුස් ගාලා ඇමතියට කෝල් කරා ආප්ප ටික බේර ගන්න හිතාගෙන.
“උඹ ආප්ප යැව්වෙ නෑනෙ තවම...තව ටිකකින් අපේ මලයගෙ කොල්ලො ටිකක් ඇවිත් ප්ලේන් එකේ ඉන්න එව්වො  ටික අරන් යයි...මලය උන්ට හොඳට සලකයි...ආප්ප ඕන්නෑ....“

“රජතුමා සෑර්...මැලේසියාව පැත්තෙ ප්ලේන් එකක් නැතිවෙලා කියල නිවුස් එකක් බුකියේ තිබුනා...වැරදිලාවත් මේ ඒක නෙවෙයි නේද සෑර්.....“

“උඹ නිව්ස් බලන්නෙත් බුකියෙද දැන්....මගෙන් මුකුත් අහගන්න එපා උඹ....අනික මැලේසියාව තියෙන්නෙ කොච්චර දුරද....එක රෑට එහෙ ඉඳන් ප්ලේන් එකක් ගෙන්නන්න මං සැක්කරයද.....“  ඇමැත්තො නයිටීඇන් එක ඇරෙන්න වෙන මුකුත් බලන්නෑ කියලයි උන්ගේ භූගෝල දැනුම ගැනයි දන්න හින්ද රජතුමා පොඩි සද්දයක් දැම්ම.

ඇත්තටම චෑංචූං එව්වෙ උස්සපු බඩ්ඩක්ද දන්නෑ කියල හිතුනෙ, කියන පරක්කුවට ඌ වැඩේ කරපු බව මතක් වෙච්ච නිසා. උගේ ණය ගෙව්වෙ නැති හින්ද අංචියක්වත් ඇද්දද කියල පොඩි බයකුත් හිතිච්ච රජතුමා කෝකටත් බුකියෙ රවුමක් ගහල මේක ඇත්තද කියල බලන්න හිතුව. බුකිය පුරාම කොලුවගේ පින්තූර...ඌ අර නැට්ටිච්ච්ගෙ පස්ස බලාගෙන ආතල් ගන්න පින්තූරයක්.. 


‘කොරන මළදානයක් හංගගෙන කොරහන්කො..දැන් මං තමයි ඒකටත් බැනුං අහන්න වෙන්නෙ ගෙදර අම්මණ්ඩිගෙන්....‘ කියල මතක් වෙච්ච රජතුමාට ප්ලේන් සීන් එක අමතකම වෙලා ගියා.

 *******

අඩියක් ගහන ගමන් රජතුමා කල්පනා කලේ ගාලු රැස්වීමෙදි කරපු කතාව ගැන. හිටපු මහ රැජිනට තව දෙකක් කියන්නයි තිබුනේ කියල හිතල තව එකක් දාගත්ත. ඒ අස්සෙ  ගුවන් ඇමතියා හති දාගෙන දුවගෙන ආවා.

“රජතුමා සෑර්...මේ සැරේ නං අපි ඉවරයි...අර ප්ලේන් එක මැලේසියාවෙ නැති වෙච්ච එක කියල හොයාගෙන...“ ගුවන් ඇමතියා හති දමදම අඬන්න තියාගත්ත.

“දැන් කවුද ඕක හොයා ගෙන තියෙන්නෙ“ මේ සැරේ නම් වැඩේ භයානක උනත් බය පෙන්නන්නෙ නැතුව රජතුමා ඇමතියට සැර කරා.
“ඇයි සෑර්...අර බුකියෙ එව්වොයි.... බොග දාන එව්වොයි හැමෝම කියන්නෙ“

“අනේ උන් දන්න ලබ්බ...මගෙන් මුකුත් අහගන්න එපා උඹ“
“නෑ සෑර් ....ඇමරිකන් කාරයා හොයාගෙනලු ..ප්ලේන් එක අන්තිමට හරවල තියෙන්නෙ ඉන්දියන් සාගරේ පැත්තට කියල....උන් දැන් මේ පැත්තට එනවලු ප්ලේන් එක හොය හොයා....“

ඒ පාරනම් වැඩේ ඇත්තටම කිරිමේල් කියල රජතුමාට හිතුන. ඇමරිකන් කාරයගෙ සැටලයිට් එකකට ඕක මාට්ටු වුනොත් විදුලි පුටුවෙ ඉඳගන්න වෙන්නෙ චෑංචූංට නෙවෙයි තමන්ටමයි කියල තේරිච්ච රජතුමා දහඅතේ කල්පනා කරන්න ගත්ත. ගුවන් ඇමතියා හාන්සි පුටුවෙ කකුල බදාගෙන අඬන ගමන් කසිය බෝතලේ පැත්තට අතදානව දැක්ක රජතුමාගෙ ටිකිරි මොලේට නියම අයිඩියාවක් ආවා.

“ගන්නව කෝල් එකක් අර නයිටීඇන් එකේ යකඩ අධර්මන්ට...මිනිහ කියන පරක්කුවට ඕක අන්තරස්දාන කරල දායි..“

30 comments:

  1. මෙච්චර තාක්ෂනය දියුණු ලෝකේ මේ මල ඉලව් ප්ලේන් එක හොයා ගන්න බැරි උනානේ ...කලු වා ලියනකම් ම බලාගෙන ඉන්න සිද්ද උනා නෙව...මේක ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරලා ලංකාවේ ඇමෙරිකන් එම්බසියට යැව්වනම් තමයි වටින්නේ...

    --------------
    ඔන්න මාතලන් ගේ මග පෙන්වීම මත මේකටත් ගොඩ උනා...

    කිසි එපාවීමක් නැතිව කියවන්න පුළුවන් විදියට ලියල තියෙනවා...

    අපහු එන්නම් කෝ...ok ?

    ReplyDelete
  2. ලිවීම අපූරුයි... උපහාසය කදිමයි.. කෙටි උනා නම් තවත් හොඳයි.. එකම දේ දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. ටිකාක් විතර දිග වැඩියි තමයි.
      ඒත් උනන්දුව බාල කර නොගෙන කියවන්න හැකි වුනා!

      Delete
    2. ස්තුතියි මාතලන්,කකා
      ඔව් ටිකක් දිග වැඩිවුනා

      Delete
  3. ඇත්තටම ඊයේ මටත් මේක නිකන් හිතුනා.... විහිලුවට හරි මේවගේ දෙයක් උනොත්නම් මෙහෙ ඉන්න ලංකාවේ අපිට අබ සරණයි

    ReplyDelete
    Replies
    1. බය ෙවන්න එපා, යකඩ අතුරුදන් කරන එකාට ප්ෙල්න් එක කජ්ජක්ද

      Delete
  4. අඩෙ අෆ්ෆා පට්ට ලියමනක් කලූ, නියමෙට ලියලා තියෙනවා උපහාසය නියමෙට ඉස්මතු කරලා තියෙනවා.

    දිගටම ලියහන් කලූ, අලුත් බ්ලොගේට බොක්කෙන්ම සුභ පැතුම්…!!!

    ReplyDelete
  5. රසයි...කෙටි කොරහන්....

    ReplyDelete
    Replies
    1. මටත් එපා වුනා අන්තිම ටික

      Delete
  6. පලමු ලියවිල්ල විදියට ඇත්තටම සාර්ථකයි. මැලේ රාල තමයි මෙහෙට එන්න පාර කිව්වෙ. දිගටම ලියමු. සුභපැතුම්!!

    ReplyDelete
    Replies
    1. හ්ම්..හ්ම්..තැන්කියු ෙව්වා

      Delete
  7. කොරි කැළුවෝ (කළුවෝ)......නියමයි. තෙල් බේරෙනවා. මුන් සෙට් එකට බෝල මිරිකනවයි, ආතල් ගන්නවයි හැර වෙන යමක් කරන්න බැහැ. උඹ දිගට ලියපන්.

    ReplyDelete
    Replies
    1. උන් මිරිකනවා.. අපි තැලෙනවා

      Delete
  8. උපහාසය මුසු අපහාසයද මන්දා :P

    මාතලන් සෑර් තමා පාර පෙන්නුවෙ බ්ලොගියට.නියමයි!

    ReplyDelete
  9. දිග නම් ටිකක් වැඩි තමා. ඒත් ආසාවෙන් කියෙව්වා. මාතලන් තමා මෙහෙටත් පාර කීවේ. දිගු ගමනකට ආසිරි පතනවා...

    ReplyDelete
  10. තුති..
    බලමු දිගට ලියන්න

    ReplyDelete
  11. ඉස්සර දිවයිනේ ගිය කිංබානට් මතක් උනා. පට්ට ඈ

    ReplyDelete
    Replies
    1. ලියල ඉවර වුනාම මටත් හිතුනා කිංබානට් වගේ කියල

      Delete
  12. බොහොම අපුරු ලියවිල්ල,දිගටම ලියන්න.සුභපැතුම්!!

    ReplyDelete
  13. නියමයි ලස්සනට ලියල.දිග වුනාට බොරින් නැ.මාතෙ ගෙ පාරෙන් ආවෙ

    ReplyDelete
  14. සුබ පැතූ, කියවූ හැමෝටම ස්තුතියි. විශේෂ ස්තුතිය මාතලන්ට පාර පෙන්නුවට

    ReplyDelete
  15. වෙහෙර ගිලපු එකාට අග්ගලාව කජ්ජක්ද කිව්වලු

    බස්සි ගේ පොස්ට් එකේ මැලේ රාල දාපු කොමෙන්ටුවකින් කොමෙන්ටුවකින් තමයි පාර හොයා ගත්තේ
    ජය වේවා!!!

    ReplyDelete
  16. කදිමයි ලියවිල්ල....අදයි මේ පැත්තට ගොඩ වුණේ.........

    ReplyDelete