Thursday, 19 June 2014

සමාවෙයන් ෆසීල්...


හොස්ටල් එකේදි
අපි ඇරගත්ත තමයි....
උඹලගෙ දෙයියො ගැන,
අල්කයිඩා, නයින් ඉලෙවන් ගැන,
අපි උඹත් එක්ක ඇරගත්ත තමයි...
උඹේ තොප්පිය හැංගුවම,
සරම කඩන්න හදනකොට,
උඹ අපිත් එක්ක ඇරගත්ත තමයි...
ඒත් කවදාවත්
උඹේ තොප්පියවත්,
මගේ පිරිත් නූලවත්,
අපිට ප්‍රශ්නයක් වුනේ නෑ.....
ඒත් දැන්
පිරිත් නූල් අහිංසක නෑ...
ලැජ්ජාව වහගන්න,
මං ඒක කපල දැම්ම මචං....
උඹට බය නැතුව,
තොප්පිය දාගෙන එන්න පුලුවන් දවසක,
මං එන්නං උඹත් එක්ක.....
රහුමානියා එකෙන්,
වඩයක් කාලා, ප්ලේන්ටියක් බොන්න.....
ඉස්සර වගේ කතා කරමු අපි,
නිලාර්ගෙ සිංහල සින්දු ගැන....

Friday, 16 May 2014

අපි කන මාලු පාන්


මාලු පාන් වල මාලු නෑ...
ඒත් අපි රහ කර කර මාලු පාන් කනවා..
ගල් අරක්කු වල ගල් නෑ....
ඒත් අපි කරටි කැඩෙන්න ගල් ගහනවා...
චයිනීස් කඩවල චීන කෑම නෑ...
ඒත් අපි ඉඳල හිටල හරි  චයිනීස් යනවා....
සිවුර ඇතුලෙ බුද්ධාගම  නෑ..
ඒත් අපි දණ ගහල සිවුරට වඳිනවා....




(ඒත් කලාතුරකින් තැනක... මාලු පාන් වල මාලු තියෙන්න පුලුවන්)

Sunday, 27 April 2014

ඔපරේෂන් ඔටු සුප්

මේ දවස් වල ඉල්ලංකැලෑවෙ මහ ගිනි විජ්ජුම්බරයයි. කහ කුරුලු හමුදාව ඔටුවන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරලා.

කහ කුරුලු හමුදාව වැඩේ පටන් ගත්තෙ ඔටුවන්ගෙ කෑම, අනික් සත්තුන්ට කන්න දෙන්න බෑ කියල. ඊට පස්සෙ ඔටුවන්ගෙන් බඩු ගන්න එක වර්ජනය කරන්න කිව්ව. ඔටුවන්ට ඉල්ලංකැලෑවෙ ඉන්න අයිතියක් නෑලු, ඔටුවො කාන්තාරෙ ඉඳල ඉල්ලංකැලෑවට ඇවිත් තියෙන්නෙ ඉල්ලංකැලෑවත් කාන්තාරයක් කරන්නලු, එහෙම වුනොත් ඉල්ලංකැලෑවෙ සත්තුන්ට ඉන්න හිටින්න තැනක් නැති වෙනවලු. කහ කුරුල්ලො විතරක් නෙවෙයි, බඩ කහ නයි, කහඳ පණුවො, කහ කොරවක්කො විතරක් නෙවෙයි සිවුරු හොරුත් ඔටුවන්ට විරුද්ධයි. කැලේ අනෙක් සත්තුත් හිටු කියල වැඩේට සපෝට්.

පහුගිය දවසක පොඩි හුටප්පරයක් වෙලා, වැදි මූකලාන පැත්තෙ වැටක රකින වරක මදුලා ඔටුවන්ට සපෝට් කරන්න පටන් අරන්. කහ කුරුලු හමුදාවෙ අණදෙන නිලධාරියා වෙච්ච ගූ ගොඩ අත්තෙ වහන කහ කුරුල්ලට මළ පැනලා. වැටේ රකින වරක මදුලාට දුන්න හොඳ සම්බුවක්, කැලේ සත්තුන්ගෙන් සමාව ගන්නත් සිද්ධ කලා. කැලෑ පත්තරවලින් දුන්නා නියම ප්‍රසිද්ධියක්. බලන්න එපාය,  ගූ ගොඩ අත්තෙ කහ කුරුල්ලගෙ සාන්ත දාන්ත කතාව, කැලේ සත්තු බොහොමයක් කැලෑ බුකියෙ පින්තූර දාලා තිබ්බෙ “ කැලේ සත්තුන්ගෙ පිනට පහල වෙච්ච කැලෑ දෙයියෙක්“ කියල. බුකියෙ කරක් ගහන කැලේ සත්තු ආයෙ සැරයක් කැලෑප්‍රේමී වෙන්නත් පටන් අරන්.

පොඩි කොස්සකට තියෙන්නෙ සමාව ගත්තට වැටේ රකින වරක මදුලා වැඩේ අත ඇරල නෑ. තවමත් ඔටුවන්ට සපෝට්. ආයෙ සැරයක් සම්බුව දෙන්න බලන කොට වරක මදුලා ගිහිල්ල ඔටු ඇමතියෙක්ගෙ කූඩාරමක හැංගිලා.  කහ කුරුලු හමුදාව මහා මෙහෙයුමක් කලා ඌව අල්ල ගන්න “ඔපරේෂන් ඔටු සුප්“ කියල. වැඩේ නැගල ගියා. නයි ටීවී එක ලයිව් කවරේජ් එකකුත් දුන්න. තව පොඩ්ඩෙන් වරක මදුලායි ඔටු ඇමතියයි දෙන්නම සුප් කරනවා. කොහොම හරි වරක මදුලා ලිස්සල ගිහින්.  “ඔපරේෂන් ඔටු සුප්“ එක අසාර්ථක වුනා. කහ කුරුල්ලන්ට වස ලැජ්ජාව.

ගූ ගොඩ අත්තෙ කහ කුරුල්ල වහාම ගියා, කැලේ රජා, මැද මූකලානෙ මහනරියා හම්බ වෙන්න. කිව්ව කතන්දරේ රජතුමාට. කැලෑ රාජ්ජෙ නිලධාරි සත්තු හරියට වැඩ කරන්නෙ නෑය, තව ටික දවසක් මෙහෙම ගියොත් ඉල්ලංකැලෑව ඔටු කාන්තාරයක් වෙනවාය, ඔටුවන්ට ෆයිට් එකක් දෙන්න නම් තව ටිකක් රාජ සපෝට් එකත් ඕනෑය, කියල. මැද මූකලානෙ මහනරියා දන්නවා මෙච්චර කලුත් කහ කුරුලු හමුදාවට හොරෙන් හොරෙන් සපෝට් කලේ මහනරියගෙ මල්ලි, කොට නරියා කියලා. ඒත් ඉතින් ගූ ගොඩ අත්තෙ කහ කුරුල්ලට වෙලාවෙ හැටියට උදව්වක් කරන්නත් එපාය. මැද මූකලානෙ මහනරියාට ආවා නියම අයිඩියාවක්. ඔටු ප්‍රශ්න වලට හොට දාන්න වෙනම අංශයක් කැලෑ පොලොස්සියෙ පිහිටවන්නං කියල ගූ ගොඩ අත්තෙ කහ කුරුල්ලට පොරොන්දු වුනා.


කැලෑ පොලොස්සියත් බොක්කෙන්ම සපෝට්. මැද මූකලානෙ මහනරියා ඉල්ලංකැලෑවෙ රජ වෙච්ච දවසෙ ඉඳල කැලෑ නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන හින්ද කැලෑ පොලොස්සියටත් වැඩ නැතිව හිටියෙ. ඉඳල හිටල හයියෙන් ගිය ගොලුබෙල්ලෙක්ගෙන්, කෙහෙල් ගහකට කොටපු කොට්ටෝරුවෙක්ගෙන් දඩයක් ගහනව ඇරෙන්න, උන්ට තිබිච්ච එකම වැඩේ කහ කුරුලු හමුදාවෙ ඔටු ඔපරේෂන් දිහා බලන් ඉන්න එකම තමා.